Friday, June 20, 2014

අතින්වත් ඇල්ලුවේ නෑ....

එදා ලිට් පංතියෙ අන්තිම දවස, ෆ්‍රෙන්ච් කිස් අපේ ඔටෝ ග්‍රාෆ් දෙක ආපහු දුන්නෙ අන්තිම මොහොතේ...
ෆ්‍රෙන්ච් කිස් කියන්නෙ පංතියෙ හිටිය ලස්සන ගොඩාක් සල්ලි තියෙන කොලුවෙක්, නම නම් රෙජිස්ටර් කලේ මමයි දර්ශියි,
කොල්ලට ගොඩක් සල්ලි තියෙන නිසාද කොහෙද එක ඉස්කෝලෙ නිවාඩුවකට ප්‍රංශෙට ගියා.... නිවාඩු කාලෙ ටියුශන් ආවෙ නැත්තෙ මොකද කියල මිස් ඇහුවම තමා අපිත් කතාව දැනගත්තෙ, ප්‍රංශ සවාරිය අපේ මිස් ටත් ආරංචි වෙලා තිබිල තියෙන්නෙ, ඉතින් මිස් අහපි ප්‍රංශෙදි මොනවද බලන්න ගිය විශේෂ තැන් කියල. මූ ගත් කටටම කිව්වෙ නැතැයි ඩිස්නිලන්තය කියල. අපි නම් එතකොට ඩිස්නිලන්තය තියෙන්නෙ ප්‍රංශෙද නැද්ද කියල වත් දැනන් හිටියෙ නැහැ... ඒත් ඕක ඇහුනම අපේ මිස් කම්මුලේ අත තියා ගත්ත, සාහිත්‍යමය වටිනාකම් තියෙන තැන් කප්පරක් තියෙද්දි මූ ඩිස්නිලන්තෙ ගියා කිව්වම. දර්ශි කුටු කුටු ගෑව කොහේ ගියත් ෆ්‍රෙන්ච් කිස් දෙනව නම් බලන්න ඇති කියලා, එදා ඉඳන් ඒ කොල්ල "ෆ්‍රෙන්ච් කිස්"

සාමාන්‍ය පෙළ විභාගේත් ඉවර වුනා..... දවල් කාලෙට ගෙදර තනියම ඉන්න බැරි නිසා අම්ම මාව දවල් කාලෙ දර්ශිලගෙ ගෙදර නතර කලා...... කරන්න වැඩකුත් නැතිව ඔහේ බකන්නිලාගෙන ඉද්දි දර්ශි යෝජනා කලා ෆ්‍රෙන්ච් කිස් අපේ ඔටෝ එකේ දාල තියෙන නම්බර් එකට කෝල් කරල ඌව අන්දමු කියල


ටෙලිෆෝන් එක රින් වෙනවා......



"ලක්ෂිත 
ඉන්නවද?" ( ඒ එයාගෙ ඇත්ත නම )
"වැරදි නොම්මරයක්" ඒ උනාට කට හඬ නම් හරිම හැඟුම් බරයි..... ආදරනීයයි.....

ඔහොම ඉතින් දවස් කීපයක්ම මේ වැරදි නොම්මර සෙල්ලම ගියා



දවස් කිහිපයකට පස්සෙ දන්නෙම නැතුව මේ වැරදි නොම්මරෙත් එක්ක අපේ තොරතුරු හුවමාරු වෙලා..... 
ඒක හාඩ්වෙයාර් එකක්, අපිත් එක්ක කතා කලේ එකේ අයිතිකාරයගෙ පුතා.... නම, ගම, පවුලේ විස්තර, උපන්දින, mutual friends වගේ නොයෙකුත් විස්තර හුවමාරු වෙද්දි අපි දන්නෙම නැතුව ගොඩාක් සමීප වෙලා... දවසට කිහිප පාරක් කෝල් කලේ නැත්තන් හිතට හරි නැහැ වගේ......
ඒත් ඒ ප්‍රේමයද කියල එයා වත් දැනගෙන හිටියෙ නැහැ, එයා බිස්නස් කාරයෙක්.... අපි තවමත් ඉස්කෝලෙ යන කජු කිරි කෙල්ලො.
මට තිබුනා අනාගතේ ගැන කප්පරකට බලාපොරොත්තු.... පළවෙනි සහ ප්‍රධානම එක තමා හොඳින් ඉගෙන ගෙන කැම්පස් ගිහින් ඉංජිනේරු නෝන කෙනෙක් වෙන එක....
එහෙම වෙලා අම්මලගෙ හීන හැබෑ කරන එක....
ඒත් ඒ හීනත් එක්ක මේ අහිංසක සම්භන්දෙ ගැලපෙන්නේ නැහැ කියල මගේ හිත වගේම මගේ යාලුවත් හැම වෙලේම අනතුරු ඇඟෙව්ව...

ඔන්න ඉතින් ආවා අලුත්ම පිස්සුවක්....

"Friendship Band"


එක එක නම් ගහලා නූල් වලින් තමා මේව හදන්නේ. කාලෙ කාබාසිනිය කරලා දාන්න හොඳ ක්‍රමයක්. මුලින් මුලින් අපේ ඉස්කෝලෙ නම දාල අපේ ඉස්කෝලෙ පාට වලින් හදන්න පටන් ගත්තට පස්සෙ විවිධ නම් සහ පාට වලට මේව වෙනස් උනා.... අපේ අය්යලට Big Match එකට දාන්න අපිට Butter ගාල එයාල මේව හදවගත්ත.....

මමත් ඉතින් මගේ නුදුටු යාලුවට දෙන්න එයාගෙ නම දාපු එකක් හදන්න පටන් ගත්ත....

කාටවත් පේන්නෙ නැතිව හොරෙන් හදන එක තමා අමාරුම වැඩේ..... කොහොමින් කොහොම හරි දර්ශි අල්ල ගත්ත හොරේ.....
මගේ අතිජාත මිතුරිය.......

"මම අවසාන නිවෙදනයයි මේ දෙන්නේ, ඔයා ඔය කෝල් කෙරිල්ල නැවැත්තුවෙ නැත්තන් මම කියනව අම්මට.... ඕක හරියන මංගල්ලයක් නෙමෙයි කියල ඇයි තේරෙන්නෙ නැත්තෙ????......" පැයක විතර දේශනයක්.... 

ඒත් කොහොමද කතා කරන්නෙ නැතුව ඉන්නේ??? ආදරය කියල කියන්න බැරි උනත් ඒක හරිම අපූරු හැඟීමක්....

ඒත් මම කොහොමද මගේ හීන අත අරින්නේ නන්නදුනන කෙනෙක් වෙනුවෙන්???

කිරල මැනල අඬල දොඩල මම තීරණේ කරා අයෙ එයාට කතා නොකර ඉන්න.

"කමක් නැහැ.... මම හිත හදාගන්නම්, ඔයාට ලස්සන අනාගතයක් තියෙනව.... ආගම ජාතියවත් නොගැළපෙන මම නිසා ඒක නැති කරගන්න එපා"

සමහර විට ඒ වගේ ප්‍රශ්න වලට මූණ දෙන්න එයා භය උනාද කියලත් මට හිතෙනව....

"ඒත් මම එක දවසක් එන්නද ඔයව බලල යන්න??? එකම එක දවසක්???" ඒක හරිම අහිංසක ඉල්ලීමක්.....

ඉතින් එයා ආවා පංතිය ළඟට,

හෝල් ක්ලාස් එක ඉස්සරහ කඩේ ළඟ රතු දුඹුරු කොටු වැටුන Shirt එකක් දුඹුරු පාට කලිසමකට ඇඳල පිළිවෙලකට කොන්ඩෙ පීරල හිටියෙ එයා...

එයත් දකින්න ඇති ඩෙනිමකට ලානිල් පාට බ්ලවුස් එකක් ඇඳලා එයා දිහා උනන්දුවෙන් බලපු ගෑනු ළමයෙක්ව

පොරොන්දු විදියට එයා මම ගිය බස් එකට නැග්ග, මං ළඟින් හිට ගත්ත..... ඒත් මම නෙමෙයි ඇහැක් ඇරල වත් බැලුවෙ......

කොන්දොස්තර ටිකට් ගන්න කියනව.....

"---- ට දෙකක්" සුපුරුදු කටහඬක්

"කවුද දෙන්නා???"

අහක බලා ගත්ත මම මම නම් නෙමෙයි වගෙ....
එයා මාව පෙන්නනව හොර ඇහැට පේනවා

හිත ගිඩි ගිඩි ගානව..... අම්ම අප්පච්චි අක්කි අඳුනන කවුරුහරි දැක්කොත්??? ඉස්කෝලෙ මිස් කෙනෙක් දැක්කොත්.... පංතියෙ ළමයෙක් දැකල ගෙදරට හරි ඉස්කෝලෙට හරි අහු උනොත්....
පපුවෙ ගැස්ම එළියටත් ඇහෙන තරම් ද මන්ද....

බස් එකෙන් බහින තැනටත් ආව..... හිතේ තිබුනු ඔක්කොම ධෛර්යය එකතු කරගෙන අතේ ගුලිකරගෙන හිටිය Friendship Band එක එයාගෙ අතින් තියල මම පස්ස නොබලා බස් එකෙන් බැස්ස

එයා දැන් කසාද බැඳල බබාලත් ඉන්නව.... ඒත්...

මම තාමත් හීන පස්සෙ පන්නනව.......


No comments:

Post a Comment