Saturday, August 2, 2014

කොම්පීතර අප්පු

සෙනසුරාදා උදේ පාන්දරම ටාරා නෝනා වැඩ පටන් ගත්තා. සිරි පොද වැස්ස නිසා කම්මැලියො ඔක්කොම තාම ඇඳන් වලට වෙලා පොරවගෙන දොයි, හැමෝම ටාරා නෝනා වගේ කඩිසර නැහැ නේ… අනේ ටාරා නෝනටත් තනියම වැඩ කරගන්න අමාරුයි. ඉතින් එයා උදව්වක් ගන්න හිතාගෙන කොම්පීතර අප්පු ව නැගිට්ටෙව්වා…. කොම්පීතර අප්පුත් වස කම්මැලියා වෙලාද කොහෙද දෙතුන් පාරක් කීද්දුවම තමා ලයිට් දාලා ඇහැරෙන්න හැදුවේ…ඒ උනාට මොකෝ කොම්පීතර අප්පුට නැගිට ගන්න බෑ. ඊයේ මගුල් ගෙදර ගිහින් කොම්පීතර අප්පුට මහන්සි ද මන්ද කියල ටාරා නෝනා කල්පනා කලා. එතකොටම එයාට මතක් උනා කොම්පීතර අප්පු මගුල් ගෙදර ගියෙ නෑනෙ කියලා… 

කොම්පීතර අප්පු තව පාරක් නැගිටින්න හැදුවා… ඒත් ඉතින් ලයිට් එක දානවා විතරයි නැගිට ගන්න බැහැ. බැරි අමාරුව වැඩි වෙලාද කොහෙදෝ කීක්… ගාලා කෙඳිරිත් ගානවා. 

මේක බලන් ඉඳලා හරියන ලෙඩක් නෙමෙයි" කියල හිතපු ටාරා නෝනා ගියා කොම්පීතර අප්පු ට බෙහෙත් ටිකක් ගන්න යන්න උදව්වට කෙනෙක් හොයා ගන්න.  එතකොටම එතනට ආවා භූතාක්ෂණ මාමා…

"අනේ භූ අය්යේ මේ බලන්නකෝ… අපේ කොම්පීතර අප්පුට සනීප නැහැ නේ. මම මේ බෙහෙත් ටිකක් අරන් දෙන්න දොස්තර මහත්තය ව ගෙන්නන්න හැදුවේ" ටාරා නෝනා කිව්වා. 

"හා හා ටාරා නෝනේ අද සෙනසුරාද කොහෙද දොස්තර???"
හැබෑ නේන්නම් කොම්පීතර විශේෂඥ දොස්තර මහත්තයා සෙනසුරාදට ලෙඩ්ඩු බලන්නේ නැති විත්තිය ටාරා නොනට මතක් උනේ එතකොටයි. 

" අනේ අය්යේ දරුවෙක් වගේ ඉන්න කොම්පීතර අප්පු ලෙඩ උනාම බලන් ඉන්න පුලුවන් ද? අනික මට කොම්පීතර අප්පුත් එක්ක කරන්න වැඩ ගොඩකුත් තියෙනවා. " ටාරා නෝනා දුක් උනා. 

"ටාරා නෝනට ඕනම නම් මම පොඩ්ඩක් ගොඩ වෙදකමක් වත් හරියයි ද බලන්නද??? මෙහෙම හිටියට අපිත් ඔය කොම්පීතර් විශේෂඥ විභාගෙට ඉගන ගත්තු උදවිය. විභාගෙට වාඩි නොවුනට " භූතාක්ෂණ මාමගේ යෝජනාවට ටාරා නෝනගේ ඉහේ මල් හතක් පිපුනා වගේ. එයාට ඕන උනේ කොහොම හරි කොම්පීතර අප්පු ව සනීප කර ගන්න. 

ඉතින් භූතාක්ෂණ මාමා කොම්පීතර අප්පු ව පරීක්ෂා කලා. 

" ලෙඩේ නම් ටිකක් බරපතලයි වගේ ටාරා නෝනේ, ඔපරේසොමක් ම කරන්න වෙයි වගේ…" 

භූතාක්ෂණ මාමා රෝග විනිශ්චය කරා. 

" දැනට ඕනම නම් ගොඩ වෙදකමක් කරන්න පුලුවන්. හැබැයි දොස්තර මහත්තයට පෙන්නන්න වෙයි සඳුදා දිහාවේ"

ටාරා නෝනා ගොඩ වෙදකම කරන්න කැමති උනා. ඒකත් පොඩි පහේ ඔපරේසමක් තමයි. කවුද ඔපරේෂන් කරද්දි තියෙටර් එකේ ඉන්න දෙන්නේ නෑනේ. ඉතින් ටාරා නෝනා එළියට ගියා.  

ටාරා නෝනා ආපහු එද්දි මෙන්න කොම්පීතර අප්පු ඉන්නවා අමාරුවෙන් හිනා වෙවී…

හැබැයි භූතාක්ෂණ මාමා කරලා තිබුන ගොඩ වෙදකම දැක්කම නම් ටාරා නෝනට තරු පෙනුනා…!!!   

ෆෑන් එක දාලා??? කොම්පීතර අප්පුට…??? A/C එකත් හරෝලා ඒ පැත්තට…???



භූතාක්ෂණ මාමා නම් කිව්වේ processor එකේ heatsink එකේ වරදකින් කොම්පීතර අප්පුට උණ ගැනිලා තිබුණ නිසා උණ බස්සන්නයි දිගටම වැඩ කරද්දි ආපහු උණ හැදෙන එක නවත්තන්නයි ඔය බේත අත්දුටුවයි ප්රතයක්ෂයි කියලා… අනේ ඉතින් ටාරා නෝනා දන්නවයැ කොම්පීතර වෙද හෙද කම්. 

Tuesday, July 29, 2014

මාරයා හමුවීමි....

පහුගිය දවසක මට මාරය හම්බුණා.... මුණ ගැහුන කියලත් කියන්න බෑ මාරය අහම්බෙන් හමුවෙලා මාව දැක දැකත් මගේ ඇඟේ හැප්පුනා. ඉන්පස්සේ මාරයා මාව ලුහු බැන්දා...

ඔන්න තොරණේ විස්තරේ.....

ගියා මම ෂොපින් මෝලට
නැග්ග මතු මහලට......
ගත්ත තලබණුව දෑතට
ඇමතුවා මම දිව්‍ය පුත්‍රව.....

හලෝ... දිව්‍ය පුත්‍ර.... මාර වැඩේ උනේ... එද්දි මාරය හම්බ්වුනානෙ මට.... දැන් මෙතනටත් එයි ද දන්නේ නැහැ, ඔයා යන්න.... මම එන්නම්.....

ඔන්න පිංවතුනි මාරය මතු මහලටත් එනවා මානවිකාව හොයාගෙන, අනේ ඉතින් මානවිකා හැංගෙනව කුළුනක් පිටිපස්සේ.

පෙර මාරය දකින්නට
පැන්න මම බිම් මහලට
දුවන්නයි තිබුනෙ මට
මෝඩ එළදෙන වුනෙමි කරුමෙට

අනේ ඉතින් මානවිකා පැන දුවන්නේ නැතුව ගත්තු බඩු වලට කාසි දෙන්ට පෝළිමේ ඉන්නවා, තමුන් මාරයව මග ඇරියයි කියන විස්වාසයෙන්

මෙන්න මම පෝළිමේ....
මරුවා මා පස්සේ
ගිඩි ගිඩිය හදවතේ
තොටත් ඇහෙනව නේද මාරේ...???

කොහෙද මේ පැත්තේ???
ගියෙ නැද්ද මනු ලෝ සේවේ???
දැන් මෙහෙද ඉන්නේ???
තොට මගේ වග මොකට මාරේ???

"දෙයි කියල හිතේ ඇති මම උත්තර....."

****යේ මම උඹට
නෙමෙයි ආවේ ******නට
මා වැනසුවා මදිවට
දෙන්න හිතෙනව කන පැලෙන්නට

ඔහොම නෙමේ කොහොම කිව්වත් කතා කරයි මම නම්...

අනේ ඉතින් මානවිකාට තුන් කන්සෙන් දාඩිය දාල, කලන්තෙ දාන්න ඔන්න මෙන්න. ලුහුබැඳීම අවසාන උනේ සුරයෝ දෙන්නෙකුගේ උදවුවෙන් මානවිකා මාර හස්තයෙන් පළා යෑමෙන්... ඒ මාතලියි, මාතලී ගෙ මිත්‍රයයි. විමානෙට ආවට පස්සෙත් මානවිකාගේ දෙපා වල මන්ඩලින් ගැහිල්ලයි බඩ පපුවෙ දැවිල්ලයි හරිගියේ නැහැ.

තවත් දෙදිනකට පස්සේ
දුටිමි ඌ මර දුවක් තුරුලේ...
තෙපලන දෙබස් ඇසුනේ
මටත් මේවයි කීවේ එ කලේ......

මාරයා හැර යන්න ගත්තු තීරණේ ගැන මම ඒ දවස් වල කොච්චර පසු තැවුනද, මම මාරයට වැරැද්දක් කරා දෝ කියල හිත හිත.... මොකද මූ පොළවෙ හැපි හැපි මැරෙන්න හැදුවනේ යන්න එපා කියලා, ඒ මදිවට නොයෙකුත් තර්ජනා ගර්ජනාත් කළා,

අනේ අපොයි මගෙ පහුගිය අවුරුදු දෙක!!!

Saturday, July 26, 2014

හදමු Vegetable Pan Cake??? හරි ලේසියි....

අපේ ඔපීසියේ breakfast buffet එකේ සමහර දාට තියෙනව එළවලු දාපු රොටී ජාතියක්, හරිම රහයි, ඉඳල හිටල හදන නිසාද මන්ද ඒවට චීන්නුන්ගෙන් වගේම Local staff එකෙනුත් සෑහෙන ඉල්ලුමක් තියෙනවා.

Saturday, July 5, 2014

මොනවද මේ Solvent Cement ???

මේක ඔපීසියේ කතාවක්..... කතාවට කලින් මම කවුද කියල හඳුන්නවලා දුන්නොත් හොඳයි කියල හිතෙනවා.... මම සිවිල් ඉංජිනේරු වරියක්.... අපේ ආයතනය පෞද්ගලික ඉදිකිරීම් ආයතනයක්..... ඉංජිනේරු නෙමෙයි මොකෙක් උනත් ඔපීසි යන ගෑණු ළමයි නිතර මූණ දෙන ප්‍රශ්නයක් තමයි සපත්තු සෙරෙප්පු වල පටි හිටි හැටියෙ කැඩෙන එක..... කලින් නොදන්වා අතරමගකදි එයාලට අපිව දාල යන්න හිතෙන එක...

ඉතින් මේ කියන දවසෙත් මම මේ සුපුරුදු ඇබැද්දියට මූණ පාලා UHU ටියුබ් එකක් ගෙන්න ගන්න විදියක් නැතුව ලත වෙමිනුයි හිටියේ.... ඔන්න ටිකකින් ආව එහා කාමරේ ඉන්න ප්‍රමාණ සමීක්ෂක මල්ලියා....

"මොකෝ නිශා මේ සපත්තු සෙරෙප්පු ගලවගෙන..."

Monday, June 30, 2014

මිත්‍ර ද්‍රෝහියා

මේක කැම්පස් කතාවක්, අපි කැම්පස් ගිය අලුත බෝඩ් වෙලා හිටියේ කැම්පස් එකට මීටර් 500 ක් විතර ඈතින් තිබුන හරස් පාරක තිබුණ තට්ටු දෙකේ ගෙදරක උඩ තට්ටුවේ.... ලංකාවෙ හතර දිගෙන් ආව අපි පළවෙනි වතාවට මුණගැහුනේ ඔය බෝඩිමේදි.ඉතින් අලුත් යාළුවෝ පුරුදු නුපුරුදු ගතිය තිබුණා සතියක් දෙකක් යනකන්ම.

බෝඩිමේ යාළුවන්ගෙන් එක්කෙනෙක් මතුගම, මතුගම භාශාව ටිකක් අමුතුයි, අතුගානව නෙමෙයි පිහදානව, උයනව නෙමෙයි වියනව, රබර් පටි වලට කියන්නෙ ගාටස්... ඔය වගේ වෙනස්කම් කෝටියයි. අපේ පළාතෙත් ඔය වගේම උප භාශාවක් තිබුණට පුංචි කාලෙම අම්මගේ කොළඹ නෑයොන්ගෙන් සවුත්තුව කාල තිබුන නිසා මම නම් නිතරම ප්‍රවේසම් සහිතවයි කතා කලේ.

ඉතින් අපේ මතුගම යාළුවගෙ ලොකුම චාටර් පොයින්ට් එක තමා එයාලගෙ ගෙදරට පේන්නෙ ITN විතරයි කියන එක, ඕක ඇත්තටම අපි Generalize කරල තිබුණේ මතුගමට පේන්නෙ ITN විතරයි කියලා. කොහොම උනත් ඔය හේතුව නිසාමද මන්ද අපේ යාළුව ටෙලි නාට්‍ය වලට නළු නිළියන්ට එහෙම හරී...ම කැමතියි.

ඉතින් අපේ බෝඩිම පාරෙම තවත් ටිකක් ඈතට වෙන්න පදිංචි වෙලා හිටියා මෑතකදි ජාත්‍යන්තර සම්මානයක් ලැබුණ ජනප්‍රිය නළුවෙක්, ඒ දවස් වල තරුණ ජනප්‍රිය නළුවෙක්....

Friday, June 20, 2014

අතින්වත් ඇල්ලුවේ නෑ....

එදා ලිට් පංතියෙ අන්තිම දවස, ෆ්‍රෙන්ච් කිස් අපේ ඔටෝ ග්‍රාෆ් දෙක ආපහු දුන්නෙ අන්තිම මොහොතේ...
ෆ්‍රෙන්ච් කිස් කියන්නෙ පංතියෙ හිටිය ලස්සන ගොඩාක් සල්ලි තියෙන කොලුවෙක්, නම නම් රෙජිස්ටර් කලේ මමයි දර්ශියි,
කොල්ලට ගොඩක් සල්ලි තියෙන නිසාද කොහෙද එක ඉස්කෝලෙ නිවාඩුවකට ප්‍රංශෙට ගියා.... නිවාඩු කාලෙ ටියුශන් ආවෙ නැත්තෙ මොකද කියල මිස් ඇහුවම තමා අපිත් කතාව දැනගත්තෙ, ප්‍රංශ සවාරිය අපේ මිස් ටත් ආරංචි වෙලා තිබිල තියෙන්නෙ, ඉතින් මිස් අහපි ප්‍රංශෙදි මොනවද බලන්න ගිය විශේෂ තැන් කියල. මූ ගත් කටටම කිව්වෙ නැතැයි ඩිස්නිලන්තය කියල. අපි නම් එතකොට ඩිස්නිලන්තය තියෙන්නෙ ප්‍රංශෙද නැද්ද කියල වත් දැනන් හිටියෙ නැහැ... ඒත් ඕක ඇහුනම අපේ මිස් කම්මුලේ අත තියා ගත්ත, සාහිත්‍යමය වටිනාකම් තියෙන තැන් කප්පරක් තියෙද්දි මූ ඩිස්නිලන්තෙ ගියා කිව්වම. දර්ශි කුටු කුටු ගෑව කොහේ ගියත් ෆ්‍රෙන්ච් කිස් දෙනව නම් බලන්න ඇති කියලා, එදා ඉඳන් ඒ කොල්ල "ෆ්‍රෙන්ච් කිස්"

සාමාන්‍ය පෙළ විභාගේත් ඉවර වුනා..... දවල් කාලෙට ගෙදර තනියම ඉන්න බැරි නිසා අම්ම මාව දවල් කාලෙ දර්ශිලගෙ ගෙදර නතර කලා...... කරන්න වැඩකුත් නැතිව ඔහේ බකන්නිලාගෙන ඉද්දි දර්ශි යෝජනා කලා ෆ්‍රෙන්ච් කිස් අපේ ඔටෝ එකේ දාල තියෙන නම්බර් එකට කෝල් කරල ඌව අන්දමු කියල


ටෙලිෆෝන් එක රින් වෙනවා......


Thursday, June 19, 2014

පරණ කවි

අද හාපුරා කියල බ්ලොග් එකක් පටන්ගත්ත නිසා පරණ නෝට් බුක් එකක් ඇවිස්සුව මම ඉස්සර ලියපු කවි සින්දු ටිකක් හොයා ගන්න...... ඒත් ඉතින් ඒකේ තිබුන සමහර කවි සින්දු කියෙව්වම මට මම ගැනම දුක හිතුන.....
තරහ වෙලා දාල ගිය පරණ පෙම්වතෙකුට ලියපු කවි තමා ගොඩාක්ම තිබුනේ..... පුදුමත් හිතුන කාලය ප්‍රශ්න විසඳන අපූරුව ගැන හිතුවම.
ඒ දවස් වල මම කොච්චර දුක් උනාද.... දැන්නම් සමහර කවි කියවද්දි හිනත් යනව....ඔරුව පෙරලුන පිට හොඳයි කියල හිතල ජීවිතේ ඉස්සරහට ආපු එක ගැන සතුටක් වගේම පුංචි ආඩම්බරේකුත් දැනෙනව......

කෝකටත් පරණ කවියකුත් දාන්නම්කෝ.......


සමුගෙන යනු දැක හඬනු බැරි
නවතා ගනු බෑ හිමි නොමැති....
නොහඬමි
නොතකමි
සඟවමි.....
මතු යම් දවසක හඳුනා ගනු ඇති
එදිනට යළි හිනැහෙමුද අපි???


අනේ මන්දා.... ඇත්තටම නම් මම මාවම හඳුනා ගත්තු එකයි උනේ

ඔටුනු ගිලිහී....

පැතුම් විසිරී
හීන බොඳවී
ඔටුනු ගිලිහී
තරහ නොමැතී
විරහ පමණී
හඬනු නොහැකී
දිරිය සොයුරී
ඉඳිමු හිනැහී